මාකඳුරේ මධුෂ් ජීවතුන් අතර හිටියා නම් ඔහුගේ කළු සල්ලි ද සුදු කර ගැනීමට ඇමති බැසිල් රාජපක්ෂගේ නව මුදල් පනතින් ඉඩකඩක් සැලසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය. 

ඇමති බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු පනත ‘කළු සල්ලි සුදු කිරීම’ සඳහා නීතියක් සම්පාදනය කිරීම බවත් ලංකාවේ මෙවැනි අයථා ලෙස උපයා ගන්නා ධනය ඇත්තේ දේශපාලනඥයන් මෙන්ම චෞර කළු ව්‍යාපාරිකයන්, කුඩු, ගණිකා මඩම් පවත්වාගෙන යන අය ළඟ මිස ගොවි ජනතාව හෝ ධීවර හෝ සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ඇතුළු පොදු  ජනතාව ළඟ නොවන බව ඇමතිවරයා මුලින් ම තේරුම් ගත යුතු බවත් ජවිපෙ නායකයා අවධාරණය කළේය.

එම නිසා මෙම පනත ගෙන එනු ලබන්නේ වංචා කොට හොරකම් කළ කළු ව්‍යාපාරිකයන් විසින් උපයා ගත් ධනය සුදු කිරීමට වුවත් උදාහරණයක් ලෙස මාකඳුරේ මධුෂ් හිටියා නම් ඔහුට ද ඉපැයූ එම කළු සල්ලි සුදු කර ගැනීමට හැකිවන පනතක් බවත් එසේ නොමැති නම්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මල්වානේ නිවසක් සම්බන්ධ නඩුවක් නොතිබුණේ නම් ඒ නිවස ද මෙම පනත හරහා ලබාගත හැකි අවස්ථාව උදාකරන බවත් ඔහු පෙන්වා දුන්නේය. 

ජවිපෙ නායකයා වැඩිදුරටත් පැවැසුවේ, මෙම පනත සුදු කඩදාසියේ ගෙනා කළු පනතක් වන අතර පොදු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නීති හැදීමට ගෙනා පනතක් වුවත් මෙය තම සමීපතම වංචනිකයන්ට, ගජමිතුරන්ට සකස් කරන ලද පනතක් බවත් මෙමඟින් නීත්‍යනුකූලව නිසි පරිදි බදු ගෙවමින් ව්‍යාපාරවල යෙදෙන අයට කියා පාන්නේ ඔබත් බදු වංචා කර අයථා ලෙස මුදල් උපයන ලෙස යැයි පණිවුඩයක් බවත්ය. 

– උපුටා ගැනීම මව්බිම පුවත්පත