අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා, අදාළ දැරිය එම නිවසට රැගෙන ආ තැරැව්කරු සහ බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා යන පුද්ගලයින් සිව් දෙනා පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, අපරාධ විධි විධාන සංග්‍රහයේ විධි විධාන අනුව මෙලෙස සැකකරුවන් පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දුන් බවය.

ඒ අනුව, ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කර විමර්ශන සිදු කිරීමට නියමිත බවත් ලබන සඳුදා (ජූලි 26) දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ (ජූලි 23) අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අද (ජූලි 24) උදෑසන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.