කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත සම්පුර්ණයෙන්ම අකුළාගත යුතු බවට වන ලිපියක් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ කොතලාවල පනත මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා සමාන්තර තවත් ආයතනයක් ලෙස KNDU ආයතනය ස්ථාපනය කිරීම මගින් විශාල අගතියක් සිදුවන බවයි.

එමෙන්ම විශේෂ කාර්යභාරයක් වෙනුවෙන් එකල පිහිට වූ කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සන්නද්ධ සේවා සාමාජිකයන්ට අමතරව රාජ්‍ය සේවකයන් හා සියලු දෙනාට විවෘත කිරීම අතිශයින්ම විනාශකාරී බවත් මෙම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

මෙම පනත මගින් රටට හා රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට බලවත් අගතියක් සිදුවන බැවින්, මේ පනත් කෙටුම්පතේ සවිස්තරාත්මක අඩුපාඩු පිළිබඳ සාකච්ඡාවට නොගොස්, සම්පුර්ණයෙන්ම අකුළාගත යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

20,000 කට අධික ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයයි.

එම ලිපිය පහතින්,

අතිගරු ගෝඨාභය රාජපක්ෂ,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,
ශ්‍රීමත් ජෝන් කොතලවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ස්ථාවරය

අතිගරු අගමැති විසින් 2021 මාර්තු 26 දින KNDU පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදී.

IESL යනු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන ඉංජිනේරු උපාධි හඳුනාගෙන ප්‍රතීතනය කරන ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ ඉහළම වෘත්තීය ආයතනයයි. ඉහත පනත් කෙටුම්පතේ අන්තර්ගතය විමසා බැලීමෙන් අනතුරුව, ජාතික උසස් අධ්‍යාපනයේ අනාගතය සහ ඉංජිනේරු අධ්‍යාපනය කෙරෙහි එහි ඇඟවුම් පිළිබඳව IESL සැලකිලිමත් වේ.

උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීමේ ප්‍රමිතීන්, ගුණාත්මකභාවය, අඛණ්ඩතාව සහ සමානාත්මතාවය නියාමනය කළ යුතුය යන තර්කයට IESL දැඩි ලෙස කැපවී සිටීන අතර ශ්‍රී ලංකාව තුල මෙය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) ස්වරූපයෙන් ඇති තනි, දේශපාලනික නොවූ නිර්පාක්ෂික ව්‍යවස්ථාපිත මණ්ඩලය විසින් නියාමනය කළ යුතුය යන මතය තරයේ දරයි. යෝජිත KNDU පනත් කෙටුම්පත UGC හි පරමාධිපත්‍යය උදුරා ගන්නා අතර, රටේ අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය අමාත්‍යංශයෙන් පරිබාහිර ආයතනයක් වෙත ඊට සමාන හෝ වඩා බලතල පැවරීමක් ඇතිකරනු පෙන්නුම් කරයි.

උසස් අධ්‍යාපන වැඩසටහන් වල විෂයමාලා ව්‍යුහයන්, තත්ත්ව සහතික කිරීම සහ පිළිගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳව IESL දැඩි ලෙස සැලකිලිමත් වන අතර, KNDU පනත් කෙටුම්පතට මගින්, පිළිගත් දේශීය හා ජාත්‍යන්තර සම්මතයන්ට පටහැනිව, ලාභ අරමුණු කරගත් ආයතනයක් වන KNDU වෙත භාර දී ඇති බව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක දක්ෂ වෘත්තිකයන් සහ බුද්ධිමතුන් හරහා විශ්වසනීයත්වය අත්කර ගෙන ඇති සාධාරණ නිදහස් අධ්‍යාපන ක්‍රමය පෝෂණය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව IESL දැඩි ලෙස විශ්වාස කරයි. එබැවින්, මුල්‍යමය ප්‍රවේශය සඳහා ඇති සීමිත අවස්ථාවන්ට විසඳුමක් මුවාවෙන්, සැක සහිත ප්‍රමිතීන් සහිතව, මහජන අරමුදල් හරහා උසස් අධ්‍යාපනය සඳහා ගාස්තු අය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම අනුමත කිරීමට IESL හට නොහැකිය.

ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් පුහුණු කිරීම සඳහා KNDU ආයතන සපයන උසස් අධ්‍යාපනයේ පැවැත්ම පිළිබඳව IESL කිසි විටෙකත් විරුද්ධත්වයක් හෝ විරෝධයක් නොදැක්වුවද, යෝජිත පනත් කෙටුම්පතේ ස්ථාන කිහිපයකම පුනරාවර්තනය වී ඇති වාක්‍ය ඛණ්ඩයක් වන “ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය සේවයේ සේවය කිරීමට අදහස් කරන පුද්ගලයින් සහ අනෙකුත් පුද්ගලයින්” මගින් එහි විෂය පථය නියත වශයෙන්ම ඕනෑම හා සියලු සිවිල් වැසියන්ගෙන් සමන්විත වන බව පැහැදිලිවම කියාපානු ලැබේ. ජාතික නීති සම්පාදනයක් තුළ එවැනි ලිහිල් වචන දැකීමෙන් තවත් බොහෝ වෘත්තීය සංවිධාන කම්පනයට පත්වන බව IESL අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත්, IESL වෘත්තීය ආයතනයක් වන අතර, දැනට පවත්නා 1981 කෝතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (KDU) පනතට සුදුසු සංශෝධන ඉදිරිපත් කිරීමට විරුද්ධත්වයක් නොමැත.

ඉහත හෙළිදරව් කිරීම් මත පදනම්ව, යෝජිත පනත් කෙටුම්පතේ සවිස්තරාත්මක අඩුපාඩු පිළිබඳ සාකච්ඡාවට නොගොස්, යෝජිත පනත් කෙටුම්පත මුළුමනින්ම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටීමට IESL ඉතා ගෞරවාන්විතව අපේක්ෂා කරයි.

මීට අවංක,
ඉංජිනේරු කේ පී අයි යූ ධර්මපාල
සභාපති