පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව සැප්තැම්බර් මස 01 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනි.

පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවටත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් ඉදිරියේදී පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපේක්ෂා කරන බවත් දන්වා සිටියේය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා විසින් ඉකුත් නඩු දිනයේ ලබාදුන් ප්‍රතිඥාව මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නැවත සැප්තැම්බර් මස 01 වනදා කැඳවන ලෙස නියම කළේය.

එදින තෙක් පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් අධිකරණය හමුවේ එකඟතාව පළකර සිටියේය.