සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි දෙරටේ අවධානය යොමුව තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් අතර 2026 නොවැම්බර් 27 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

දෙරටේ සෞඛ්‍ය සේවා පද්ධති අතර දැනුම, විශේෂඥතාව සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. එමෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කුසලතා වර්ධනය කිරීම සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමේදී දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා වූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳවද මෙම හමුවේදී අදහස් හුවමාරු වී තිබේ.

මේ අතර 2026 ඔක්තෝබර් මාසයේදී රුපියල් මිලියන පහකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මාලදිවයිනට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාව පළ කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටි බව සඳහන් වේ.