බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර 25ත් 35ත් පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් හලාවත සිට මන්නාරම හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40ත් 45ත් දක්වා ඉහළ යා හැකි බවද සඳහන් වේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.