සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම 2027 ජනවාරි මාසයේදී ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විශේෂ වියදම් ඒකක සඳහා වන 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මූලික වැටුප අදියර තුනකින් ඉහළ දැමීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2025 සහ 2026 වසරවලදී පළමු හා දෙවන අදියර ක්‍රියාත්මක කළ බව ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීමට පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව 2027 ජූලි මාසයේදී ලැබීමට නියමිත බවත්, එහි නිර්දේශ මත එම විෂමතා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ විමධ්‍යගත කිරීම හේතුවෙන්, 2025 වසරේ 1,664ක්ව පැවති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2026 වන විට 27,948 දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කළාය. විනිවිදභාවයෙන් යුත් පාලනය නිසා පසුගිය වසර දෙක තුළ ජනාධිපති අරමුදලේ මූල්‍ය ශක්තිය සියයට 150කින් වර්ධනය වී ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මීට අමතරව විශ්වවිද්‍යාල සිසුන්ට ඇස් කණ්ණාඩි 2,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දී ඇති අතර, රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් පෝලිම් අඩු කිරීම වෙනුවෙන් හම්බන්තොට මහ රෝහලේ 570 දෙනකුට සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ 600 දෙනකුට පහසුකම් සලසා ඇති බවද ඇය පෙන්වා දුන්නාය. විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍ය දීමනාව සියයට 100කින් ඉහළ නංවා සුරක්ෂා රක්ෂණ යෝජනාක්‍රමයේ ප්‍රතිලාභ හා ආවරණය වන රෝගී තත්ත්වයන් පුළුල් කර ඇති බවද ඇය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ අධ්‍යාපනය පිළිබඳ ඩිජිටල් කාර්යසාධක බලකායක් පිහිටුවා සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන බවත්, මහජන පැමිණිලි සඳහා විධිමත් පසු විපරම් (Follow-up) ක්‍රියාවලියක් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය. 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ ස්වාධීන කොමිෂන් සභාවලට සුදුසු සාමාජිකයන් පත් කර ඇති බවත්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ පැමිණිලි විමර්ශන ප්‍රතිශතය වසරින් වසර ඉහළ ගොස් ඇති බවත් ඇය පැවසුවාය.

තවද, පාසල් ප්‍රජාව සහ අනෙකුත් අමාත්‍යාංශ එක් කර ගනිමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක වන බවත්, ජනාධිපති කාර්යාලයේ නාස්තිය හා දූෂණය අවම කරමින් සංචාරක සංවර්ධනය සහ සංහිඳියාව තහවුරු කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. විපක්ෂයේ සාධනීය විවේචන රජය පිළිගන්නා නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පෞද්ගලික මට්ටමින් අසත්‍ය කරුණු සමාජගත කිරීම කණගාටුදායක බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.