වන අලි ඇතුන්ගේ සහ වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම මෙන්ම මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවි, ඇත්දළ කොටස් සහ දඩයම් උපකරණ රැසක් සොයාගෙන තිබේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාව මඟින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
‘ගජබාහු’ හස්තියා නිරන්තරයෙන් සැරිසරන කැබිතිගොල්ලෑව, යාං ඔය – වාහල්කඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ මෙම මෙහෙයුමේදී වනාන්තර සහ නිවාස පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී මසල් ලෝඩින් වර්ගයේ ගිනි අවියක්, පුරවන ලද පතොරම් කිහිපයක් සහ ඇත්දළ කොටස් තුනක් සොයාගත් බව සඳහන් වේ.
මීට අමතරව වන සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා ලෝහ කඳන්, වනාන්තරය තුළ අටවා තිබූ මදු, සකස් කරන ලද මදු සහ උගුල් මෙන්ම වන සතුන්ගේ මස් සහ වන සතුන් ඝාතනය කිරීමට යොදා ගන්නා උල් පිහි ඇතුළු උපකරණ රැසක්ද මෙහෙයුම් කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේයින්තුව එක්ව මෙම ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර, වන සතුන් දඩයම් කිරීම සහ වන අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව වැඩිදුරටත් සඳහන් වේ.


