පෝලන්තයට රුසියානු මිසයිල දෙකක් සහ සැකකටයුතු ඩ්‍රෝන යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේනයේ පශ්චාත්-යුද මෙහෙයුමක් සඳහා සූදානම් වීමේ අරමුණින් පෝලන්තයේ පැවැත්වෙන යුරෝපීය හමුදා අභ්‍යාසයන්ට සමගාමීව මෙම සිදුවීම වාර්තා වී තිබේ.

මෙය රුසියාව විසින් හිතාමතාම සිදු කළ ප්‍රකෝප කිරීමක් බව පෙනී යන්නේ යැයි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙම මිසයිල, සැකකටයුතු ඩ්‍රෝන යානය හෝ හමුදා අභ්‍යාස සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

එක් රුසියානු මිසයිලයක් හමුදා අභ්‍යාස පැවැත්වෙන ස්ථානයට කිලෝමීටර් 35ක් පමණ දුරින් පතිත වී ඇති බවට විශ්වාස කරන බව පෝලන්ත බලධාරීන් සඳහන් කර තිබේ. එමෙන්ම, ‘Kh-101’ වර්ගයේ කෲස් මිසයිලයක් යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 50ක් පමණ දුරින්ද, ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන බවට සැක කෙරෙන ඩ්‍රෝන යානයක් යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින්ද පතිත වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.