වාර්ෂික බදු මුදල් අඩුවෙන් තක්සේරු කිරීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 375,000ක් ලබා ගැනීමේ චෝදනාවලට වරදකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු තක්සේරුකරුවකුට කොළඹ මහාධිකරණය වසර 16ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.
අදාළ හිටපු රාජ්‍ය සේවකයාගේ ප්‍රජා අයිතිය වසර 7ක කාලයකට අහෝසි කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියම කළේය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට නියෝග කළේය.
මහජනතාවගෙන් බදු මුදල් අය කර ගැනීමේ ප්‍රධානතම ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වන බවත්, බදු නොගෙවූ අවස්ථාවලදී ජනතාවට අත්විඳීමට සිදු වන අහිතකර ප්‍රතිඵල අනුව විත්තිකරුට ලිහිල්ව කටයුතු කිරීමේ හැකියාවක් නැති බවත් විනිසුරුවරයා සඳහන් කළේය.
2011 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ තක්සේරුකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී සිදු වූ මෙම සිද්ධියට අදාළ චෝදනා හතරක් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීරණය කෙරිණි. අල්ලස් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් විත්තිකරු සමඟ චෝදනා ලැබ සිටි කාන්තාවකට, මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම හේතුවෙන් 2019 වසරේදී දඬුවම් නියම වූ අතර, විත්තිකරු නිවැරදිකරු බව පැවසීම නිසා ඔහුට එරෙහිව දීර්ඝ කාලයක් නඩුව විභාග විය.
එක් චෝදනාවකට වසර 4 බැගින් චෝදනා 4කට වසර 16ක සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා, විත්තිකරුගේ රෝගී තත්ත්වයන් සහ වයෝවෘද්ධභාවය සැලකිල්ලට ගනිමින් එම දඬුවම් කාලය වසර 4කින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය. ඊට අමතරව රුපියල් 375,000ක සහ රුපියල් 20,000ක දඩ මුදල් නොගෙවන්නේ නම් අමතර මාස 14ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමකටද ඔහු යටත් කෙරිණි.
දඬුවම් ලිහිල් කරන ලෙස විත්තිකරුගේ නීතිඥවරයා ඉල්ලා සිටිමින් වසර 40ක රාජ්‍ය සේවයෙන් පසු විත්තිකරු වයෝවෘද්ධව රෝගාබාධවලින් පීඩා විඳින බව සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, රාජ්‍ය ආදායම් රැස් කරන ප්‍රධාන ආයතනයේ නිලධාරියකු ලෙස කටයුතු කළ විත්තිකරුට අන් අයටද පාඩමක් වන ලෙස දැඩි දඬුවම් නියම කරන ලෙසත්, අල්ලස් ලෙස ලබා ගත් මුදල් දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියහ.
