2028–2032 වර්ෂ සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගිතා රාමුව මෙරට ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට අනුකූල වන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සහතික වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. තාක්ෂණික විශේෂඥතාව, ආයතනික ධාරිතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් මගින් ශ්‍රී ලංකා රජයට අඛණ්ඩව සහාය දීමට සූදානම් බවද ඔවුන් විසින් යළිත් තහවුරු කරනු ලැබ ඇත.

අදාළ සහයෝගිතා රාමුව යටතේ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් අතර අද (18) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වට දෙකකින් යුතුව මෙම සාකච්ඡාව ක්‍රියාත්මක විය.

යහපාලනය, විනිවිදභාවය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට සමගාමීව, ආර්ථික ස්ථායීකරණයේ සිට අපනයන-මූලික කරගත් වර්ධනයක් කරා යාම සහ පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම පිළිබඳව මෙහිදී ප්‍රධාන අවධානය යොමු කර ඇත. පරිපාලන ක්‍රියාවලි විධිමත් කිරීම, ආයෝජන බාධක ඉවත් කිරීම සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය වේගවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික නියෝජිත පිරිස විසින් මෙහිදී අවධාරණය කර තිබේ.

මීට අමතරව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ආහාර සුරක්ෂිතතාව, ඉලක්කගත සමාජ ආරක්ෂණය, තරුණ රැකියා නියුක්තිය සහ වයස්ගත වන ජනගහනය වෙනුවෙන් පෙර සූදානම් වීම මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපෘති වෙනුවට ඉහළ බලපෑමක් ඇති ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ‘එකම ඒකකයක් ලෙස ක්‍රියාත්මක’ (Delivering as One) ප්‍රවේශයේ වැදගත්කමද සාකච්ඡා කර ඇත. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franch මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.