ඉදිරි වසර තුන තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3%ක තරම් මට්ටමකට අඩුවිය හැකි බවට ආර්ථික විශේෂඥයන් විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ. ආර්ථික විද්‍යාර්තයින්ගේ සංගමය අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය වසර දෙක තුන තුළ ආර්ථික වර්ධන වේගය 5%ක පමණ මට්ටමක පැවතියද, එම වර්ධනය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාම ගැටළුවක් වී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. සංඛ්‍යා දත්තවලට අනුව මෙම වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 3%ත් 4%ත් අතර පවතින බවත්, 2027, 2028 සහ 2029 යන ඉදිරි වසරවලදී එය 3%ක් දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ 8%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඇත්තේ 1978 වසරේදී සහ 2010 – 2011 යන කාලසීමාව තුළ පමණක් බවත්, ආයෝජන අඛණ්ඩව වැඩි කළද ආර්ථිකය යම් සීමාවකට පැමිණ ඇති බවත් හෙතمه පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා, 1960 වසරේදී දකුණු කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම් සමාන මට්ටමක පැවතියද, වර්තමානයේ දකුණු කොරියාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 36,200ක් පමණ වන අතර ශ්‍රී ලංකාව පසුගිය වසරේ වාර්තා කර ඇත්තේ ඩොලර් 5,002ක් පමණක් බව පෙන්වා දුන්නේය.

පර්යේෂණ සහ සංවර්ධන (Research and Development) අංශය වෙනුවෙන් නිසි දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක නොවීම සහ අවුරුදු පහෙන් පහට බලයට පත්වන ආණ්ඩු මාරු වීමත් සමඟ දේශපාලන අස්ථාවරත්වය මත ප්‍රතිපත්ති අඛණ්ඩව ගෙන යාමට නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුවක් වී ඇති බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.