රුපියල් මිලියන 176ක වියදමින් සංවර්ධනය කරන ලද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නවීකරණය කළ පහසුකම් කිහිපයක් සේවා සඳහා එක් කිරීම සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ලෝක බැංකු මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් මෙම ප්‍රතිපාදන ලබාදී තිබේ.

ඒ යටතේ මහජන සෞඛ්‍ය රසායනාගාර පරීක්ෂක ශිල්පී පුහුණු පාසල, සේවාස්ථ පුහුණු නේවාසිකාගාරය සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ පිරිමි නේවාසිකාගාරය අලුත්වැඩියා කර ඇති අතර, නව ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක්ද ඉදිකර විවෘත කර ඇත. නේවාසිකාගාර දෙකෙන් සෞඛ්‍ය වෘත්තිකයන් සියයකට ආසන්න පිරිසකට පහසුකම් සැලසෙන අතර, විශේෂ අවශ්‍යතා සහිත වෘත්තිකයන් වෙනුවෙන්ද පහසුකම් සලසා තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි වසර දහය සඳහා වන 2035 දක්වා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කර අවසන් බවයි. වෙන් කරන සෑම රුපියලක්ම නියමිත කාලසීමාව තුළ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැය කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.