ගෙවුම් ශේෂ ලේඛනවල (Balance of Payments) “දෝෂ සහ අතපසුවීම්” (Errors and Omissions) යටතේ සටහන් වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808ක විෂමතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දී ඇති පැහැදිලි කිරීම් පිළිබඳව දිනන දකුණ සාමූහිකය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

2026 ජූනි 17 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් එම සාමූහිකය පෙන්වා දෙන්නේ, මෙවැනි දැවැන්ත විෂමතාවක් හුදෙක් “සංඛ්‍යානමය දෝෂයක්”, “කාලීන ප්‍රමාදයක්” හෝ සාමාන්‍ය දත්ත නොගැලපීමක් ලෙස සලකා බැහැර කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවයි.

එම නිවේදනය පහතින්,

”පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා වෙත කෙරෙන විවෘත ඉල්ලීමයි.

ගෙවුම් ශේෂ ලේඛනවල (Balance of Payments) “දෝෂ සහ අතපසුවීම්” (Errors and Omissions) යටතේ සටහන් වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක විෂමතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මෑතකදී ලබා දුන් පැහැදිලි කිරීම් පිළිබඳව “දිනන දකුණ සාමූහිකය” සිය දැඩි කනස්සල්ල පළ කරන අතර, මේ පිළිබඳව සමාජය, පාර්ලිමේන්තුව සහ මූල්‍ය බලධාරීන් දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතු බවට අනතුරු අඟවයි.

“දෝෂ සහ අතපසුවීම්” යනු දත්ත ගැලපීමේදී සිදුවන නොගැලපීම් සමනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම රටක භාවිතා වන සම්මත ගිණුම්කරණ පියවීම් ක්‍රමවේදයක් (balancing item) යන තාක්ෂණික පැහැදිලි කිරීම අප පිළිගන්නා අතරම, මෙතරම් විශාල වටිනාකමකින් යුත් අගයක් හුදෙක් දත්ත වාර්තාගත වීමේ “කාලීන ප්‍රමාදයක්” (timing delay) හෝ සාමාන්‍ය දත්ත දෝෂයක් ලෙස සලකා බැහැර කිරීම සම්පූර්ණයෙන්ම නුසුදුසු බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.

යම් රටක “දෝෂ සහ අතපසුවීම්” අගය, එම රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සැලකිය යුතු ප්‍රතිශතයක් දක්වා වර්ධනය වන විට (මෙහි සටහන් වන සෘණ ඩොලර් මිලියන 808 ක අගය මෙන්), එය තවදුරටත් හුදු තාක්ෂණික පාදක සටහනක් (footnote) ලෙස සැලකිය නොහැක.

ඒ වෙනුවට, එය සමස්ත සාර්ව ආර්ථිකයටම නිකුත් කරන දැඩි අනතුරු ඇඟවීමේ රතු එළියකි. මෙම දැවැන්ත සෘණ පරතරය මඟින් පැහැදිලිවම පෙන්වා දෙන්නේ අපගේ ආර්ථිකයෙන් ඉතා බරපතල ලෙස මුදල් කාන්දු වීම්, දත්ත ඌන-වාර්තාකරණය, වැරදි වාර්තාකරණය හෝ නීති විරෝධී ලෙස ප්‍රාග්ධනය රටින් පිටවීම (illicit capital flight) සක්‍රීයව සිදුවන බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත සෘජුවම යොමු කරන ලද විවෘත ඉල්ලීමක් මඟින් දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තුව, මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය යන ආයතනවලට මෙම බරපතල කාරණය සුළුකොට තැකීමට හෝ කාපට් එක යටට දමා වසා දැමීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවයි.

අපනයන වටිනාකම් අධි-අගයනය කර (over-invoicing) විදේශ විනිමය විදේශයන්හි රඳවා තබා ගැනීම සහ ආනයන වටිනාකම් ඌන-අගයනය කර (under-invoicing) රේගු බදු පැහැර හැරීම වැනි වෙළඳ වාර්තා විකෘති කිරීම් (trade mis-invoicing) දශක ගණනාවක සිට ශ්‍රී ලංකා ආර්ථිකය වෙළාගෙන ඇති, මැනවින් තහවුරු වූ කරුණකි.

මේ පිළිබඳව රටම දැන සිටියද, මෙම මහා පරිමාණ මූල්‍ය අවභාවිතාවන් වැළැක්වීම සඳහා අර්ථවත් හෝ ආයතනික මට්ටමේ නිවැරදි කිරීමේ පියවරක් ගැනීමට මෙතෙක් පත් වූ කිසිදු රාජ්‍ය පරිපාලනයක් සමත් වී නැත.

මෙම අඛණ්ඩ පද්ධතිමය අසාර්ථකත්වය හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන වටිනා විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන ගණනකි. මෙය රටේ ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලියට සෘජුවම බාධා කරන අතර, එහි බර සමස්ත පොදු මහජනතාව මත පටවනු ලබයි.
නිරපේක්ෂ විනිවිදභාවය සහතික කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) සතු ව්‍යවස්ථාපිත අධීක්ෂණ බලතල ක්‍රියාවට නංවන ලෙස දිනන දකුණ සාමූහිකය එහි සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.

මතුපිටින් පෙනෙන තාක්ෂණික කරුණු මත පදනම්ව මෙය අවසන් වූ සාකච්ඡාවක් ලෙස නොසලකන ලෙස අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිමු.

අඛණ්ඩව සිදුවන මෙම දත්ත පරතරයන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරමින් පතුලට කිදා බසින වෝහාරික විගණනයක් (forensic investigation) මෙහෙයවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නියෝග කළ යුතුයයි අපි යෝජනා කර සිටිමු.

විධිමත් බැංකු පද්ධතියෙන් බැහැරව සමාන්තර වෙළඳපොළවල් (හවාලා/උන්ඩියල්) හරහා ඩොලර් බිලියන ගණනින් මුදල් රටින් පිටතට ගලා යාමට ඉඩ දී ශ්‍රී ලංකාවට සැබෑ ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත නොහැකි බව අපගේ මතය වන්නේය.
රජය තවදුරටත් ගිණුම්කරණ පාරිභාෂිතයන් (accounting jargon) පිටුපස සැඟවී නොසිට, මෙලෙස සිදුවන නීති විරෝධී මූල්‍ය ගලායාම්වලට එරෙහිව වහාම තීරණාත්මක පියවර ගත යුතු බව අප අවධාරනය කරන්නෙමු.”

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,

නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.