2026 වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඔහු පැවසූයේ, ජාත්‍යන්තර යුද්ධමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පොහොර මිල ඉහළ යා හැකි බවට ඇති උපකල්පන මත, යම් පාර්ශ්වයන් විසින් පොහොර තොග රැස් කිරීමට කරන උත්සාහයන් වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි.

රට පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් පිහිටා ඇති අතර, ඒ මගින් ගොවීන්ට තමන්ගේ වගා ඉඩමේ ප්‍රමාණය අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන පොහොර ප්‍රමාණය ලබාගත හැකි බවත්, සියලුම වගාකරුවන්ගේ නාම ලේඛන සහ ඉඩම් විස්තර දැනටමත් සකස් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

එසේම, ජාතික පොහොර ලේකම් කාර්යාලය ද යල කන්නනය සඳහා අවශ්‍ය පොහොර තොග පිළිබඳව ගැටලුවක් නොමැති බව සනාථ කර ඇති අතර, ගොවීන්ට තම අවශ්‍යතාවය සෘජුවම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබාගැනීමට ඉල්ලා සිටින බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.