පසුගිය රජය සමයේ සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධූරය දැරූ නිවාස අමාත්‍යංශය හරහා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල ඉදිකිරීම් ආරම්භ කල නිවාස 92,396 ක වැඩ අතරමඟ නතර වී ඇතැයි කෝප් කමිටුවේදී හෙළිදරව් වී තිබේ.

ඒ එම කමිටුවේ සභාපති චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විමර්ශණයකදී.

මේ අතර 2016-2019 අතර කාල සීමාවේදී හම්බන්තොට ප්‍රදේශයෙන් නිවාස සංවර්ධන අධිකාරිය සඳහා බඳවා ගනු ලැබූ පිරිස සදහා රුපියල් බිලියනකට අධික මුදලක් පුහුණු සහ දිමනා වියදම් වශයෙන් වැයකර ඇති බවත්, 2019.12.31 වනදායින් පසුව කොන්ත්‍රාත් පදනම මත සේවයේ සිටි පිරිස ඉවත් කොට ඇති බවත් එහිදී හෙළිදරව් විය.

පසුගිය රජය සමයේදී නිවාස සංවර්ධන අධිකාරිය සදහා සේවකයින් බඳවා ගැනීමේදී නිසි පටිපාටිය අනුගමනය කර නොමැති අතර ඒ හේතුවෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

උදාගම්මාන වශයෙන් ඉදිකිරීම් ආරම්භ කොට විවිධ හේතූන් නිසා එම ඉදිකිරීම් අතහැර දැමූ ගම්මාන පිළිබඳව විශේෂ වාර්තාවක් ලබාදෙන ලෙසද කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට නියෝග කර තිබේ.