දකුණු ආසියානු කලාපයේ කොවිඩ් වසංගතය පාලනය කළ සාර්ථකම රට ශ්‍රී  ලංකාව බව ක්‍රීඩා ඇමැති  නාමල්  රාජපක්ෂ  පවසයි.     

ඔහු පැවසුවේ ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරණ  වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට මෙරට  එළැඹ ඇති බවයි. 

සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු ලක්ෂ 5කට අධික  පිරිසකට එන්නත්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමේ  අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා  මේ බව සඳහන් කළේය.

ක්‍රීඩා ඇමැති නාමල්  රාජපක්ෂ  සහ සංචාරක ඇමැති  ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් සේවක සේවිකාවන් 500 දෙනකු සංචාරක මාර්ගෝපදේශකයන්, සංචාරක රියැදුරන් සහ සෆාරි රියැදුරන් 150 ඇතුළුව දහසක පමණ පිරිසකට සයිනොෆාම්  එන්නත ලබාදීම ස්ථාන හතරක දී පසුගියදා සිදු  කෙරිණි.

එහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ  කොරෝනා වසංගතය නිසා වැහුණ රට නැවත විවෘත කර ආර්ථික, සමාජීය ස්ථාවරත්වය සකස් කරන වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති  අතර  එහිදී ප්‍රමුඛතම කාර්ය සහ  ලෝකයම විශ්වාස කරනු ලබන කාර්යය වන්නේ එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ රට විවෘත කිරීමට හැකි වන බව යැයි රාජපක්ෂ  මහතා පෙන්වා  දුන්නේය.

එමෙන්ම  බුබුළු ක්‍රමය හරහා සංචාරක ව්‍යාපාරය දකුණු ආසියාතික රටක් විධියට ප්‍රථමයෙන්ම ආරම්භ කළේ ලංකාව බවත්,  පසුගිය වසරේ එල්. පී.එල් තරගාවලිය ජෛව බුබුළු ක්‍රමය යටතේ  ආරම්භ කළ අතර මෙරටින් ලැබූ ආභාෂය මත  දකුණු ආසියාතික රටවල් ජෛව බුබුළු ක්‍රමය හරහා ක්‍රීඩා තරග පවත්වන්න කටයුතු කළ බවත්  ඇමැතිවරයා කීය.