පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට අදාළව යුද්ධ හමුදාවේ කපිතාන්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු නොරොච්චෝලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සේරුනුවර කල්ලාර් කඳවුරේ සේවය කරන යුද්ධ හමුදා කපිතාන්වරයෙකු, කොප්‍රල්වරයෙකු සහ ලාන්ස් කොප්‍රල්වරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් පසුගිය ජූනි 30 වන දා පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී අදාළ සිද්ධියට යුද්ධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

පසුව ඒ බව යුද්ධ හමුදාවට දැනුම් දී ඇති අතර යුද්ධ හමුදා පොලිසිය මගින් කළ විමර්ශනයකදී අදාළ සැකකරුවන් පිළිබඳ අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පසුව යුද්ධ හමුදා පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනා නොරොච්චෝලේ පොලිසිය වෙත භාර දෙන ලද බවත් එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ය.

පෞද්ගලික අමනාපයක් හේතුවෙන් යම් පුද්ගලයෙකුගේ පෙළඹවීම මත පැහැරගැනීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අද (ජූලි 04) දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් සම්බන්ධයෙන් හමුදා නීතිය යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට අමතරව මීගොඩ ප්‍රදේශයේ පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීගොඩ පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු අදාළ සැකකරුවන් එකතු වී පොලිසියෙන් බව පවසා පැහැරගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.