ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්රැන්ෂේ (Marc-André Franche) ඇතුළු නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී තිබේ. මෙම හමුවේදී 2028–2032 කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවට යෝජිත ‘එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව’ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
යෝජිත සහයෝගීතා රාමුව සකස් කිරීම සඳහා දැනටමත් සැලසුම් කර ඇති ඒකාබද්ධ වැඩපිළිවෙළ පිළිබඳව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතනික සහ විද්වත් ප්‍රජාව මෙන්ම සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් සහයෝගීතා රාමුවට ඇතුළත් කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර සහ ඉලක්ක හඳුනා ගැනීමේ ක්‍රියාවලියේදී අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡා කිරීමට ලැබීම විශේෂ අවස්ථාවක් බවද ඔහු සඳහන් කළේය.
සංවර්ධන සහයෝගීතාව සඳහා පුළුල් ඉලක්කගත ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, යෝජිත වැඩසටහන් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ඉලක්කවලට අනුකූල වීම සහ රටේ සංවර්ධන අවශ්‍යතා හා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. සංවර්ධන ව්‍යාපෘති බිම් මට්ටමින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේදී බලපාන ප්‍රධාන අභියෝග ලෙස දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි, අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව සහ මානව සම්පත් හිඟකම හඳුනාගත හැකි බවද ඇය සඳහන් කළාය.
වැඩසටහන් ඵලදායී ලෙස සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සහතික කිරීම සඳහා රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය හා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. එමෙන්ම, ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා අදාළ තනතුරුවලට නිසි කුසලතා සහ විශේෂඥතාව ඇති පුද්ගලයන් පත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම සංවර්ධන සැලසුම්කරණය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා සිවිල් සමාජ සංවිධාන ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කමද මෙම හමුවේදී අවධාරණය කෙරිණි.
