හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකා ඉලක්ක කර (21) ඕමානය ආසන්නයේදී ප්‍රහාර එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) නිවේදනය කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඕමානයේ කසාබ් වරාය නගරයට කිලෝමීටර් 20ක් පමණ උතුරින් ගමන් කළ තෙල් නෞකාවක පසුපස කොටසට හඳුනා නොගත් ප්රක්ෂේපණයක් වැදී ඇති බව සඳහන් වේ. එමෙන්ම, එම නගරයට කිලෝමීටර් 31ක් පමණ නැගෙනහිරින් ගමන් කළ තවත් නෞකාවක එන්ජින් කාමරයටද ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම්වලින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර ප්‍රහාර දෙක වෙන වෙනම නෞකා දෙකකට එල්ල වූයේද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බව වාර්තාවේ දැක්වේ.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ සීමා කළ කලාපයකදී තෙල් නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් ගිනිගෙන ඇති බව ඉරාන නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ. අදාළ නෞකාව අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් සිය හඳුනාගැනීමේ සහ නාවික උපකරණ ක්‍රියා විරහිත කර ගමන් කර ඇති බවටද ඉරානය චෝදනා කරයි. කෙසේ වෙතත් එම ප්‍රකාශය ස්වාධීනව තහවුරු වී නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පසුගිය සතිය තුළ පමණක් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මෙවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් වේ. සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සියලුම නෞකා ඉරාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවට ටෙහෙරානය අවධාරණය කර තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ ප්‍රහාරවලින් පසු මෙම කලාපයේ නාවික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ. ඉරානයේ නාවික සීමා කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව ඉරාන වරායන්ට නාවික අවහිරතා පනවා ඇති අතර, තෙල් නෞකාවල ආරක්ෂාව සඳහා යුද නෞකා යෙදවීමටද පියවර ගෙන ඇතැයි අල්ජසීරා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.



