වැටුප් විෂමතා මුල් කරගනිමින් විවිධ වෘත්තීය කණ්ඩායම් විසින් 2026 නොවැම්බර් 30 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ විධායක නිලධාරීන් විසින් 2026 නොවැම්බර් 20 වැනිදා ක්‍රියාත්මක කළ එක්දින සංකේතාත්මක වෘත්තීය ක්රියාමාර්ගයටද සහාය නොදැක්වීමට එම සංගමය තීරණය කර තිබේ.
වත්මන් ආර්ථික හා සංවර්ධන අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින්, වැටුප් හා දීමනා සංශෝධනය සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයකින් පසු සැකසූ යෝජනාවලියක් මේ වන විටත් වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව සංගමය පවසයි. මුළු රාජ්‍ය සේවයම කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි පරිදි එම කොමිසම මඟින් වැටුප් සංශෝධන සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් වේ.
මෙවැනි පසුබිමක මහජන සේවාවන් අඩපණ වන අයුරින් කටයුතු කිරීමට හෝ රටේ ආර්ථිකයට හානි වන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහාය දීමට රාජ්‍ය පාලනයේ ප්රමුඛ සේවාව ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු නොකරන බව අවධාරණය කෙරේ.
කෙසේ වෙතත් වැටුප් කොමිෂන් සභාව පත් කර තිබියදී, එහි නිර්දේශ නොමැතිව විවිධ පාර්ශ්වයන්ට අවිධිමත් ලෙස සහන ලබා දීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය නොසතුට පළ කරන බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වැඩිදුරටත් නිවේදනය කර ඇත.



