පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා අද (26) පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් ඉදිරිපත් කරමින්, සංවිධානාත්මක අපරාධකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් හුවමාරු වූ බවට සැක පවතින බව පැවසීය.

ඔහු සඳහන් කළේ “හරක් කටා” ලෙස ප්‍රසිද්ධ නදුන් චින්තක නමැත්තා රඳවා තැබීමේ නියෝග වෙනස් කරමින් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම හා සම්බන්ධයෙන් මෙම ගනුදෙනුව සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම සිද්ධියට හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු, ඔහුගේ පුත්‍රයෙකු, දේශපාලන සංවිධායකවරයෙකු මෙන්ම හිටපු පොලිස්පතිවරයෙකුද සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් දුරකථන සංවාදයක්ද ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙය ඉතා බරපතළ තත්ත්වයක් ලෙස සලකා වහාම පරීක්ෂණයක් අවශ්‍ය බව අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අපරාධකරුවන් නිදහස් කිරීම සඳහා මහජන මුදල් හා අපරාධ ජාලයන් සම්බන්ධ වීම රටේ නීතියේ ආධිපත්‍යයට දැඩි අභියෝගයක් බවයි.