ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි, එම ඝාතනයෙන් පසු මෙරටින් පලා ගොස් ඇත්තේ ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති මැයි මාසයේදී බව විමර්ශකයින් හෙළි කරගෙන තිබෙනවා.

මැතිවරණ උණුසුමත් සමඟ කාර්යබහුල වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමුවූ අවස්ථාවක ඇය මෙලෙස ඉන්දියාවට පලා ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 06 දෙනකු පොලිසියේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අතර මෙම කරුණු එහිදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා.

අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට ගිනි අවිය අධිකරණයට රැගෙන ගොස් තිබුණේ ඇය බව මෙම විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

‍පොලිසිය අනාවරණය කරගත් ‍තොරතුරු අනුව මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ ඒ වන විට විදෙස්ගතව සිටි පාතාල අපරාධකරුවන් වූ කෙ‍ෙහල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද නමැති අය විසිනි.

ඝාතනය වූ දිනම වෙඩික්කරු සමඟ ඉෂාරා සෙව්වන්දි ද, ඉන්දියාවට පලා යෑමට සැළසුම් සකස් වී තිබුණද වෙඩික්කරු පුත්තලම පාලවියේදී පොලිස් විශේෂ කාර්ය බලකායට හසුවීමත් සමඟ ඔවුන්ගේ සියළු සැළසුම් ව්‍යර්ථව ගිය බව පොලීසිය පවසනවා.

පසුව, ඉෂාරා සෙව්වන්දි මතුගම, මාතර, වව්නියාව වැනි ප්‍රදේශවල මාස තුනක කාලයක් මෙසේ සැඟව ඇති අතර යාපනයට ගොස් ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා යන්නේ ජේ. කේ. බායි නමැත්තා සමග බවට මේ වන විට කරන ලද විමර්ශනවලින් තහවුරු වී තිබෙනවා.

මේ සදහා කෙහෙල්බද්දර පද්මේ ජේ. කේ. බායි නමැත්තාට රුපියල් කෝටියක මත්කුඩු ලබාදී ඇති බව ද විමර්ශනයේදී හෙළිව තිබුණා.

ඉන්දියාවේ මාසයක පමණ කාලයක් රැඳී සිට ඉකුත් ජුනි මස ඉන්දියාවේ මිනිස් ඡාවාරම්කරුවන් පිරිසක් විසින් ඉන්දියානු කාන්තාවක ලෙසින් ඇයව නේපාලයට රැගෙන ගිය බවටද මෙහිදී හෙළිව තිබුණා.

ඉන්දියානු තැරැව්කරුවන් නේපාල දේශ සීමා පන්නා ඇයව නේපාලයට ඇතුළු කර ඇති අතර ඇයව නේපාලයේදී භාරගැනීමට එහි සිටින තරැව්කරුවන් කිහිප දෙදෙනකු ද පැමිණ තිබෙනවා.

ඇය ඉකුත් දා අත්අඩංගුවට ගන්නා තෙක්ම නේපාලයේ රැඳී සිට ඇත්තේ ඉන්දියානු කාන්තාවක ලෙසය.

ඇයට ඒහි ජීවත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් සියල්ලක්ම සපයා ඇත්තේ ඒ වන විට ඩුබායි හී රැඳී සිටි ජේ.කේ බායි නමැත්තා විසින් බව සහ ඔහු ඩුබායි සිට නේපාලයට පවා නිතර නිතර පැමිණ සෙව්වන්දිගේ සැප දුක් සොයා බලා ඇති බවද වාර්තා වනවා.