පිට පිට වසර දෙකක් ආදායම් ඉලක්ක ඉක්මවා යමින්, යටිතල පහසුකම් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඔස්සේ ශ්‍රී ලංකා තැපැල ශක්තිමත් ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වන කෞෂල්‍යා ආරියරත්න නොවැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ පසුගිය වසරේ රුපියල් මිලියන 13,000ක් වූ ආදායමෙන් පසු, මෙම වසරේ රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්කයෙන් මේ වන විටත් 90%කට ආසන්න ප්‍රමාණයක් සපුරා ඇති බවයි. විශේෂයෙන් මධ්‍ය තැපැල් හුවමාරුවද පසුගිය දිනවල විශේෂ ආදායම් ඉලක්කයක් අත්පත් කරගෙන ඇති බව ඇය සඳහන් කළාය.

කූරියර් වෙළෙඳපොළෙන් 40%ක කොටසක් අත්පත් කර ගැනීමේ අරමුණින්, cash on delivery, special post සහ international courier වැනි ලාභ ලැබිය හැකි සේවා ඒකරාශී කර උපායමාර්ගික ව්‍යාපාර ඒකකයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කෞෂල්‍යා ආරියරත්න පැවසුවාය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1,978ක් ප්‍රාග්ධන ආයෝජන සඳහා වෙන් කර ඇති බවද ඇය කීවාය.

2025 සහ 2026 වසරවල ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 600ක් සහ රුපියල් මිලියන 500ක් වැය කර ඇති බවත්, ගොඩනැඟිලි අලුත්වැඩියා සඳහා තවත් රුපියල් මිලියන 600ක් වෙන් කර දිවයින පුරා ගොඩනැඟිලි 135ක් අලුත්වැඩියා කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. බෙදීම් කටයුතු සඳහා වාහන 181ක් සම්පූර්ණයෙන්ම යොදවා ඇති අතර, මධ්‍ය තැපැල් හුවමාරුව සහ මූලස්ථානයේ ඩිජිටල්කරණයද වේගවත් කර ඇත.

මීට අමතරව මධ්‍ය තැපැල් හුවමාරුව හරහා මත්ද්‍රව්‍ය රැගෙන ඒම හා බෙදා හැරීම සම්බන්ධයෙන් පැවති චෝදනාවලට එරෙහිව ‘රටම එකට’ වැඩසටහන යටතේ ක්‍රියාමාර්ග ගෙන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවත්, තැපෑල ලාභදායී හා නවීන සේවාවක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බවත් කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අවධාරණය කළාය.