ශ්‍රී ලංකාව ඉදිරියේදී යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුම්ගත වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව සහ මෙරට සංචිතවල වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පසුගිය කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කමිටුවක් පත් කර තිබිණි. එම කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ කමිටුව මෙතෙක් නිල වශයෙන් රැස්වී නොමැති බවයි.

පසුගිය 17 වන වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගත් බවත්, ඉදිරි ආර්ථික පිම්ම කරා ළඟාවීමේදී පවතින අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන කටයුතු කළ යුතු බවත් ඔහු මෙහිදී පැහැදිලි කළේය. ඒ අනුව ඉදිරියේදී කමිටුව රැස්වී කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු පවතින තත්ත්වයට වඩාත් සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

විශේෂ වැඩසටහනක් නොතිබුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කටයුතු කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙරට ඉදිරි ආර්ථික පියවර පිළිබඳ අවසන් තීන්දුව කැබිනට් මණ්ඩලය විසින් ලබා ගනු ඇති බවද අවධාරණය කළේය.