ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා පිළිබඳ පුරවැසියන්ගේ අත්දැකීම් සහ ප්‍රතිචාර ක්‍රමානුකූලව ලබාගැනීම සඳහා ප්‍රථම වරට ජාතික මට්ටමේ පුරවැසි ප්‍රතිචාර සමීක්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (25) දින පැවති රජයේ මාධ්‍ය හමුවේදී සඳහන් කරන ලද්දේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මූල්‍ය හා තාක්ෂණික සහය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක් හරහා ජනතාවට ලබාදෙන රාජ්‍ය සේවාවන්හි ප්‍රවේශය, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ජනතා අදහස් මෙහිදී ලබාගැනීමට නියමිතය.

විවෘත මහජන සහභාගීත්වය, ප්‍රජාමූලික සමීක්ෂණ සහ අහඹු සමීක්ෂණ යන ක්‍රමවේද ඔස්සේ පුරවැසියන් 13,000ත් 15,000ත් අතර පිරිසක් සහභාගී කරවාගෙන දිවයින පුරා මෙම සමීක්ෂණය පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

ලබාගන්නා දත්ත විශ්ලේෂණය කර රාජ්‍ය සේවා කාර්යක්ෂමතාව හා විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>