විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” ජාතික මෙහෙයුම් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, අද පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිත තිබේ.

රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬ පැවැත්වීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණයට වෙනමම කාර්යාංශයක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීමට නාවික හා ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම, නවීන උපකරණ ලබාදීම සහ නිලධාරීන් පුහුණු කිරීම ආදිය මෙම මෙහෙයුමට ඇතුළත් ව තිබෙනවා.

ජාතික මට්ටමේ දේශපාලන නායකත්වයක්, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගීත්වයක් සහිතව, ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලුමනින්ම උපුටා දැමීමේ ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවෙනු ඇත.