හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු හයදෙනකු සම්බන්ධ අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ඉදිරියට ගෙන යාමට මූලික කරුණු තිබේද යන්න පිළිබඳ නියෝගය 2027 ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට යොමු කළ මෙම පැමිණිල්ල සලකා බැලුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.

නොවැම්බර් 12 වැනිදා විමල් වීරවංශ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පැවසුවේ, සිය සේවාදායකයාගේ ප්‍රකාශය හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් නිකුත් කළ රැඳවුම් නියෝගයක් ගැන වූ බවයි. එම ප්‍රකාශයෙන් අධිකරණය පිළිබඳ සඳහනක් කර නොතිබූ බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.