දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ සිට කළාවැව දක්වා ජලය රැගෙන එන දඹුලු ඔයේ මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන් නිසා දඹුලු ඔය හරහා වැටි ඇති කිරලව පාලම මෙන්ම ප්‍රදේශයේ ඇළ මාර්ගයන්ද විනාශ වෙමින් පවතින බව ගොවීන් පවසති.

දඹුලු ඔයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්කිරියාගම , මඩාටුගම ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් සිය ආදීපත්‍ය පතුරුවා ගනිමින් වැලි ජාවාරම් සිදු කිරීම හේතුවෙන් දඹුලු ඔය ඉවුර විනාශ වෙන බවත්, ඉතා වටිනා ඉපැරණි ගස්ද ඉවුරු සේදීමෙන් පෙරළි යන බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

දඹුලු ඔයේ වැලි ගොඩදමමින් දඹුලු ඔයට කරන හිංසන හේතුවෙන් මේ වන විට අවට ගොවි බිම් වලටද ජලය ලබා ගත නොහැකි වී ඇතැයි ගොවීන් පවසති.ඒ වැලි ගොඩදැමීම නිසා ඉවුරු සේදී ගොස් කුඹුරු සඳහා ජලය ලබා ගන්නා ඇළ මාර්ගයන්ද සෝදා පාලු වීම හේතුවෙනි.මේ වන විට කුඹුරු අක්කර 20 කට ජලය ලබා ගත නොහැකිව ගොවීන් අසරණ වී සිටිති. ඔවුන් කියා සිටින්නේ කාලාන්තරයක් තිස්සේ දඹුලු ඔයේ වැලි ගොඩදමමින් කළ පරිසර විනාශය හේතුවෙන් තම වගා බිම් කරා ජලය රැගෙන එන ඇළ මාර්ගද සේදී ගොස් ඇති බවයි.මේ පිළිබඳව අදාළ බළධාරීන් නිළධාරීන් දැනුම්වත් කළද ඵලක් නොවන බවට ඔවුන් මැසිවිලි නගති.