මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබා දෙමින් තමන් පෝද්දල ජයන්ත හඳුනන්නේ නැති නමුත් බන්දුල පද්මකුමාර හඳුනන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බව වාර්තා වේ. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විදේශගතව සිටින මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ තමන්ට සහ මාධ්‍යවේදී සනත් බාලසූරියට ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා තර්ජනය කළ බවට පෝද්දල ජයන්ත එම සටහන මඟින් චෝදනා කර තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පැවති උද්ඝෝෂණයකින් අනතුරුව එම හමුව සිදු වූ බව ඔහු සඳහන් කරයි.
මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව තවදුරටත් විරෝධතා සංවිධානය කළහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවට ගෝඨාභය රාජපක්ෂ එහිදී අනතුරු ඇඟවූ බවද පෝද්දල ජයන්ත පවසයි. එවකට ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර සහ ලක්ෂ්මන් හුළුගල්ලද එම අවස්ථාවට සහභාගී වී සිටි බව ඔහු සඳහන් කර ඇත.
අදාළ තර්ජන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගියද එහි නිලධාරීන් එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවද ඔහු කියා සිටී. ඉන් මාස කිහිපයකට පසු තමන් සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් දරුණු ලෙස පහර දුන් බවත්, එහිදී සිය වම් පාදයට බරපතළ තුවාල සිදු වූ බවත් පෝද්දල ජයන්ත සිහිපත් කර තිබේ.
එම සිදුවීමෙන් පසු දින 28ක් රෝහල්ගතව සිටීමටත්, මාස හයක කාලයක් ඇඳට සීමා වී සිටීමටත් සිදු වූ බව පවසන ඔහු, තවමත් අර්ධ ආබාධිත තත්ත්වයකින් පසු වන බවද සඳහන් කරයි. ”වදකයන්ට” මාව අමතක වුණාට, මට “වදකයෝ” අමතක නැත” යනුවෙන් පෝද්දල ජයන්ත සිය සමාජ මාධ්‍ය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



