ශ්‍රී ලංකාවේ පළමු නියමු රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානයේ නිල ආදර්ශන පියාසැරිය අද (11) කොළඹ වරාය නගරයේදී සාර්ථකව සිදු කෙරුණු අතර, ඊට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ද එක්වෙමින් එම යානයේ ගමන් කර තිබේ.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
චීනයේ ‘යි හැන්ග්’ (Yi Hang) සමාගම විසින් නිෂ්පාදිත E 216 වර්ගයේ මඟීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම ඩ්‍රෝන යානය, ප්‍රචාලක 16කින්, බැටරි කට්ටල 12කින් සහ ස්වයංක්‍රීය පාලන පද්ධතිවලින් සමන්විත වේ.
ධාවන පථයක අවශ්‍යතාවකින් තොරව සිරස් අතට ගුවන්ගත වීමට සහ ගොඩබැසීමට හැකි මෙම (eVTOL) යානා හරහා මගී ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය සහ හදිසි සේවා නංවාලීම අරමුණු කර ඇත.
මෙම ව්‍යාපෘතිය මුල් අදියරේදී අත්හදා බැලීමේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන අතර, වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මාස හයක කාලයක් පුරා පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
ඉදිරි මාස හය ඇතුළත වාණිජ මගී ප්‍රවාහන මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය කොඩිතුවක්කු මාධ්‍ය වෙත සඳහන් කළේය.
