සිර දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කර තිබෙන අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

අදාළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමේදී මීට පෙර පත්කළ විනිසුරුවරුන් අතර බෙදීමක් ඇතිවීම හේතුවෙන්, ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා නඩුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හමුවට යොමු කෙරිණි.

ඒ අනුව, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනය ලබන ජනවාරි මස 21 වන දින විභාග කිරීමට නියමිතය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

පසුගිය 2015 වසරේ දෙසැම්බර් මස 21 වන දින දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්විණි.

එහිදී චෝදනා 18කට වරදකාරිය වීම හේතුවෙන් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ නියම කෙරිණි.

එම සිර දඬුවමින් සහ දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති අතර, විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.