ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන මොහොතක කාර්යාල සහායක තනතුරු දෙකක් සහ රියැදුරු තනතුරු හතරක් අනනුමත ලෙස ලබා දී රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන පෙබරවාරි 26 වැනි දින යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17) නියෝග කර තිබේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඉදිරි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අල්ලස් කොමිසමට මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත. එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයින් 6 දෙනෙකු නීත්‍යානුකූල නොවන ලෙස අනුයුක්ත කිරීමට කටයුතු කිරීම හරහා රූපවාහිනී සංස්ථාවට රුපියල් 14,325,422.83ක මූල්‍ය පාඩුවක් සිදු කර ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. නඩුවේ සැකකරුවන් ඇප මත මුදාහැර සිටින අතර, ඔවුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිට ඇත.


