රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට බ්‍රිතාන්‍යයේ නේටෝ හමුදා ඒකකයක සේවය කළ 41 හැවිරිදි ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය ත්‍රස්# මර්දන පොලිසිය සඳහන් කළේ, අදාළ නිලධාරියා නොවැම්බර් 10 වැනිදා එංගලන්තයේ ග්ලොස්ටර් නගරය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බවයි.

මෙම නිලධාරියා නේටෝ සංවිධානයට අයත් Allied Rapid Reaction Corps හමුදා ඒකකයේ සේවය කර ඇති අතර, එහි මූලස්ථානය බ්‍රිතාන්‍යයේ Imjin Barracks කඳවුරේ පිහිටා ඇත. 2023 වසරේ බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක පනත යටතේ විදේශීය බුද්ධි සේවාවකට සහාය ලබාදීම සහ ආරක්ෂිත තොරතුරු ලබාගැනීම හෝ අනාවරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන පොලිසිය, ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සහ ඇමෙරිකානු හමුදා බලධාරීන් එක්ව විමර්ශන සිදුකරන අතර, ග්ලොස්ටර්ෂයර් ප්‍රදේශයේ ස්ථාන දෙකක්ද පරීක්ෂාවට ලක්කර ඇත.

සැකකාර නිලධාරියා ලන්ඩන් නුවර පොලිස් ස්ථානයක රඳවාගෙන සිටින අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.