සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව, විධිමත්ව පවත්වා ගන්නේ නම් අප රට කලාපීය සෞඛ්‍ය සේවයේ විශ්වාසදායක ගමනාන්තයක් බවට පත් කළ හැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඇමතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ නයින්වෙල්ස් (Ninewells) රෝහලේ නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවේදීය.
මෙම නව සංකීර්ණය මහල් 14 කින් සමන්විත වන අතර 125 ඇදන් ධාරිතාවයක් සහිතව නවීන ශල්‍යාගාර, රසායනාගාර, දැඩි සත්කාර ඒකක සහ විවිධ වාට්ටු අංශ ඇතුළත් වේ.
එසේම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් බිලියන 6 ක් වන අතර 2029 අවසන් වීමට පෙර ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙවැනි ආයෝජන හා නව සංවර්ධන අවස්ථාවන් රටේ සෞඛ්‍ය සේවාව පිළිබඳ විශ්වාසය තහවුරු කරන බවයි. ශල්‍යකර්ම, හදිසි ප්‍රතිකාර, හෘද සත්කාර සහ පුනරුත්ථාපන සේවා වැනි ක්ෂේත්‍රවලට ව්‍යාප්ත වීම රෝගී සත්කාරයට පුළුල් හා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා දෙන බවද එතුමා පැවසීය.
ඇමතිවරයා තවදුරටත් සඳහන් කරන ලද්දේ, මහජන සෞඛ්‍ය සේවාව රටේ සෞඛ්‍ය පද්ධතියේ පදනම වන අතර සෑම පුරවැසියෙකුටම සමානාත්මතාවය සහ ප්‍රවේශය සහතික කිරීම එහි ශක්තිය බවයි.





