මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රැඳවුම් භාරයේ පසුවන ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

හංවැල්ල පොලිස් වසමේ දසවේල්ල ප්‍රදේශයේ වැව් බැම්මක් තුළ පිහිටි පැරණි මහෝගනී ගසක බෙනයක සඟවා තිබියදී මෙම ආයුධ සොයාගත් බව පොලිසිය පවසයි.

එම ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, මැගසින් එකක් සහ ජීව උණ්ඩ දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ආයුධ කිසියම් අපරාධයක් සඳහා භාවිත කිරීමේ අරමුණින් කලකට පෙර මෙලෙස සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිතය.