පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමත් සමඟ ගෝතමාලාවේ නැගෙනහිර ප්‍රදේශ දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව සකපා (Zacapa) සහ ඉසබල් (Izabal) යන ප්‍රදේශවලට බලපැවැත්වෙන පරිදි මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති අතර, එය දින 30ක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ. පසුගිය 14 වැනි දින නිකුත් කරන ලද මෙම නියෝගය යටතේ අදාළ ප්‍රදේශවල එළිමහන් රැස්වීම් පැවැත්වීම දැඩි ලෙස සීමා කර ඇත.

මෙම හදිසි තත්ත්වය යටතේ ආරක්ෂක අංශ වෙත පුළුල් බලතල ලබා දී ඇති අතර, ඒ අනුව රැස්වී සිටින කණ්ඩායම් බලය යොදා විසුරුවා හැරීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ වරෙන්තුවකින් තොරව නිවාසවලට ඇතුළු වී පරීක්ෂා කිරීමට අංශ වෙත අවසර ලැබී තිබේ. අදාළ මන්ත්‍රීවරයා සහ පොලිස් නිලධාරීන් පිරිස ඝාතනයට ලක්වූ ප්‍රහාරය සිදුවී සතියක් ගතවීමෙන් පසු මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.