2023 වසරේ සිදු වූ නායයෑමකින් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර හා අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ පුනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද (28) සිදු කෙරිණි.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානයක පැවසූයේ රටේ කෘෂිකර්මාන්තය, පරිසරය සහ ආර්ථිකයේ විශාල කොටසක් මධ්‍යම කඳුකරය මත රඳා පවතින බවය.

පසුගිය කාලයේ සිදුවූ ප්‍රධාන නායයෑම් 1,200කට වැඩි සංඛ්‍යාවක් හේතුවෙන් මධ්‍යම කඳුකරය දැඩි අවදානමකට ලක්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ‘මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක්’ පිහිටුවීම සඳහා විශේෂ පනතක් සකස් කරමින් සිටින බවද ජනපති පැවසීය.

එම පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර ආරම්භයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

“අපි මිය යන විට අපේ දරුවන්ට විනාශ වූ මධ්‍යම කඳුකරයක් ලබාදිය යුතුද?” යනුවෙන් ප්‍රශ්න කළ ජනපති, මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීම ජාතික වගකීමක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>