කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් වාර්තා කරන පරිදි චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා හමුවීම සඳහා පසුගියදා ගොවිජන මන්දිරයට පැමිණ ඇති අතර එහිදී දෙපාර්ශවය අතර වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා වී ඇත.

නියෝජිත පිරිස සඳහන් කළේ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.
දැනට භාවිතයට නොගන්නා ඉඩම් භාවිත කරමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපලවල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු, පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි අධිකාරියට අයත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමු වී ඇති අතර මේ සම්බන්ධයෙන් වන නිශ්චිත යෝජනාවලියක් චීන වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලදී.

එය අමාත්‍යවරයා වෙත මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට ද ඔවුන් විසින් කටයුතු යොදන ලද අතර මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත.