ශ්‍රී ලංකාවට නිරිත දෙසින් බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබුණු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
යාත්‍රාවෙහි හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000 ක් පමණ වන බව දැක්වේ.
අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298 ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පවසන ලදී.
මෙම ධීවර යාත්‍රාව මෙරටට අයත් බහුදින යාත්‍රාවක් බවත්, එම යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණය ද නීතිය හමුවට ඉදිරිපත් කර ඇති බවත් නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.





