පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර පවසනවා.
පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
මෙම පාර්ලිමේන්තු සතිය තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ අංක 2446/34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීම සහ “පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත” කාරක සභා අවස්ථාවේ සලකා බලා, තෙවැනිවර කියවීමත් නියමිතව තිබෙනවා.
ඔක්තෝබර් මස 22 වැනි බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2451/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය සහ (52 අධිකාරය වූ) සුරා බදු ආඥා පනත යටතේ රීති විවාදයට ගැනීමට තිබෙනවා.
එසේම, 23 වැනිදා “මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමටද නියමිත තිබෙනවා.






