DAT දීමනාව, අත්හිටවූ අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනා යළි ස්ථාපිත කිරීම සහ බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ඇතුළු ප්‍රධාන ඉල්ලීම් පහක් කඩිනමින් ඉටු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට අනතුරු අඟවා තිබේ.
සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව, ලේකම් වෛද්‍ය යූ.කේ.බී. වරකගොඩගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මෙම කරුණු දැක්වේ. වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අරමුණින් යෝජනා 20ක් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් පසුගිය ජූලි මාසයේදී ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දුන් බවත්, මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පිළිබඳ සාධනීය සාකච්ඡාවක් ලැබී නැති බවත් සංගමය සඳහන් කරයි.
පසුගිය වසර දෙකක කාලය තුළ දීමනා කප්පාදු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රුපියල් බිලියන 44කට අධික මුදලක් රජයට ඉතිරි කර දී ඇති බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් වෛද්‍යවරුන් රට හැර යෑම තීව්ර වී නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීමේ අවදානමක් මතු විය හැකි බව අවධාරණය කරයි.
අනුමත සමස්ත DAT දීමනාව සම්පූර්ණයෙන් ලබා දීම, කප්පාදු කර අත්හිටවූ 1/3ක අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනා වහාම යළි ස්ථාපිත කිරීම, DAT දීමනාව උපයන විට අය කරන බදුවලින් (PAYE) නිදහස් කිරීම, 22/99 ප්‍රවාහන පහසුකම් චක්‍රලේඛය යටතේ සුදුසුකම් සපුරා ඇති වෛද්‍යවරුන් කඩිනමින් අන්තර්ග්‍රහණය කිරීම සහ බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර කඩිනමින් ලබා දීම යන ඉල්ලීම් පහ වහාම ක්‍රියාත්මක කරන ලෙස සංගමය බල කර සිටී.
ජනාධිපතිවරයා ප්රමුඛ රජය මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් නොකරන්නේ නම්, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග තෝරා ගැනීමේ සම්පූර්ණ බලය විධායක සභාවට පවරා ඇති බව නිවේදනයේ සඳහන් වේ. ඉදිරියේදී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගීන් මුහුණ දෙන පීඩාවන්ට ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වත්මන් රජය සෘජුවම වගකිව යුතු බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.
