සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව,
අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සීඝ්‍රයෙන් අඩු කිරීමට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ.
නිවේදනයට අනුව ඔහු පෙන්වා දී ඇත්තේ 1990 වසරෙන් පසු අතිශය විෂ සහිත පළිබෝධ නාශක සීමා කිරීමත් සමඟ මෙරට සියදිවි නසා ගැනීම් ප්‍රමාණය සම්මත වශයෙන් 70%කින් පමණ අඩු වී ඇති බවයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පැවති “පළිබෝධ නාශක මඟින් සියදිවි නසා ගැනීම වැළැක්වීම” පිළිබඳ විශේෂ සැසිවාරයකදීය.
මෙම සැසිය ශ්‍රී ලංකාව, ගයනාව, කෙන්යාව, නයිජීරියාව සහ පාකිස්ථානය එක්ව සංවිධානය කර තිබූ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ ජාත්‍යන්තර සියදිවි නසා ගැනීම වැළැක්වීමේ සංගමය (IASP) ඒ සඳහා සහයෝගය ලබාදී තිබුණි.
සියලුම රටවල් තම සියදිවි නසා ගැනීම වැළැක්වීමේ ජාතික උපාය මාර්ගවලට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු බවත්, එය අඩු වියදමකින් කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබාදෙන සාර්ථක මැදිහත්වීමක් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.
එමෙන්ම, පළිබෝධ නාශක සීමා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ප්‍රජා පාදක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම ද සමගාමීව සිදු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. ඒ සඳහා ශ්‍රී ලංකාව ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පවසා ඇත.
1995 වසරේදී ලක්ෂයකට 47ක් ලෙස වාර්තා වූ ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමේ අනුපාතය 2022 වන විට 14 දක්වා පහළ ගොස් ඇති අතර, විෂ සහිත පළිබෝධ නාශක තහනම් කිරීම එයට ප්‍රධාන හේතුවක් වී ඇති බවද මෙම සැසියේදී අනාවරණය විය.
තවද, 2027 වසරේදී ජාත්‍යන්තර සියදිවි නසා ගැනීම වැළැක්වීමේ සංගමයේ 34වන ලෝක සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බවද මෙහිදී සඳහන් කොට ඇත.
අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.






