එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පැවැත්වෙන වාර්ෂික ලෝක පොලිස් සමුළුවට සහභාගී වී සිටින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඩුබායිහි පොලිස් සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය ෆෙඩරල් පොලිස් කවුන්සලයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ධාහි කල්ෆාන් තමීම් (Dhahi Khalfan Tamim) ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් පොලිස්පතිවරයා විසින් මෙලෙස හමුවී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සිරි බිජූන් (Siri Bijune) සහ ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර සහයෝගීතා අංශයේ අධ්‍යක්ෂවරයා සමඟද පොලිස්පතිවරයා සාකච්ඡා පවත්වා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමට සහ පිටුවහල් කිරීමට කඩිනමින් ක්‍රියා කරමින් එම රාජ්‍යය දක්වන රාජ්‍යතාන්ත්‍රික සහයෝගය වෙනුවෙන් පොලිස්පතිවරයා එහිදී සිය ගෞරව පූර්වක ස්තූතිය පුද කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාද පොලිස්පතිවරයා සමඟ මෙම සාකච්ඡා සඳහා එක්ව සිටියේය. පසුගිය නොවැම්බර් 15 වැනිදා ආරම්භ වූ මෙම වාර්ෂික ලෝක පොලිස් සමුළුව හෙට (19) දිනය දක්වා පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.