‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපට මාලාවේ ඩාර්ත් වේඩර් භාවිත කළ ලයිට්සේබරයක් නොවැම්බර් 12 වැනිදා පැවති වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4.875කට අලෙවි විය. ලූක් ස්කයිවෝකර්ට තමන් ඔහුගේ පියා බව වේඩර් හෙළි කරන සුප්‍රකට ද්වන්ද්ව සටනේ රූගත කිරීම් සඳහා ද මෙම ලයිට්සේබරය යොදාගෙන තිබේ.

එය The Empire Strikes Back සහ Return of the Jedi යන චිත්‍රපට දෙකේම භාවිත කළ රූගත කිරීම් උපකරණයකි. වෙන්දේසිය පැවැත්වූ හෙරිටේජ් ආයතනය පවසන්නේ ස්ටාර් වෝර්ස් සිහිවටනයක් සඳහා වෙන්දේසියකදී ලැබුණු ඉහළම මිල මෙය බවයි. මීට පෙර ජූලි මාසයේදී ලූක් ස්කයිවෝකර්ගේ ලයිට්සේබරය සහ එම සටනට යොදාගත් විශේෂ ප්‍රයෝග උපකරණයක් ඩොලර් මිලියන 3.75කට අලෙවි වී තිබිණි.