සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රිට් ආඥාව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේදී තහවුරු වූ බවයි.

ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දී තිබෙනවා.

ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නොමැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් “කෝ වොරන්ටෝ ” රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

මෙම තීන්දුවත් සමග සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රීධූර අහිමි වීමේ අවදානමක් ඇති බව නීති විශාරදයින් පවසයි. එයට හේතුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාවේ ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ උප ලේකම් ලෙස කටයුතු කළ අතර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති එම පක්ෂයේ නිලධාරීන්ගේ ලැයිස්තුවේද ඇයගේ නම එලෙස සඳහන්ව ඇත.