කුරුණෑගල නගර මධ්යයේ ඉදිකරමින් පවතින ජාතික සතොස සමූපකාර තොග අලෙවි මධ්යස්ථානය නිරීක්ෂණය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය.
මාතර නගර මධ්යයේ තොග අලෙවි මධ්යස්ථානයත් සමඟ පසුගිය වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම මධ්යස්ථානය ජනතාවට සහ සමූපකාර ව්යාපාරයට අත්යවශ්ය භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීමේ අරමුණින් ඉදිකරනු ලබයි.
මෙහිදී අමාත්යවරයා සඳහන් කරනු ලැබූයේ මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි නවීන පහසුකම් සහිත තොග අලෙවි මධ්යස්ථාන 09ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, කුරුණෑගල හා මාතර මධ්යස්ථාන දෙක මේ වනවිට අවසන් අදියරට ළඟා වී ඇති බවත්ය.
ජාතික සතොස සභාපති කෝසල විල්බාව මහතාද අමාත්යවරයා සමඟ නිරීක්ෂණයට එක් වූ අතර ඔහු පැවසූයේ, මෙම වැඩපිළිවෙළේ අරමුණ පුද්ගලික අංශයට බාධා කිරීම නොව, ජනතාවට ගුණාත්මක ආහාර ද්රව්ය සාධාරණ මිලකට ලබාදීම සහ වෙළෙඳපොළේ මිල පාලනය සඳහා අවශ්ය යාන්ත්රණය යළි ගොඩනගා ගැනීම බවයි.
මෙම මධ්යස්ථානය විවෘත වීමෙන් පසු, සිල්ලර වෙළඳුන්ට සහ සමූපකාර ව්යාපාරයට අවශ්ය භාණ්ඩ තොග මිලට ලබාගැනීමේ පහසුකම් සලසන අතර, ජනතාවට අත්යවශ්ය ආහාර ද්රව්ය සුරක්ෂිතව සහ සාධාරණ මිලකට ලබාදීමේ නව පියවරක් ලෙස සැලකේ.




