කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුවේ මෙහෙයවීම මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්දිකා සෙනෙවිරත්න මෙනෙවිය නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.පී.එම්.ඒ. විජේසුන්දර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව, මියගිය කාවන්තිස්ස ඇතාගේ උදර ප්‍රදේශයෙන් වෙඩි උණ්ඩ මූනිස්සම් තුනක් සොයාගෙන ඇති බව අනාවරණ වී ඇත.

අලියා සහ ඇතා පොදු දේපොළ පනත යටතට පැවරෙන බැවින් සැකකරුවන්ට ඇප ලබාදීමට මෙම අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින නිපුනතා සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 25 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර, මීළඟ නඩු දිනයේදී පොදු දේපොළ පනත යටතේ කරුණු දක්වන ලෙසද ඔවුන්ට දැනුම් දී තිබේ.