අධික වර්ෂාව හේතුවෙන් පස් සහ ගල් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබූ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස අද (11) පෙරවරුවේ සිට යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මේ බව තහවුරු කළේය.
පවතින අයහපත් කාලගුණයත් සමඟ මෙම මාර්ගයට පස් සහ ගල් පෙරළීමෙන් යතුරුපැදියකටද හානි සිදුවී තිබුණි. ඒ හේතුවෙන් ආරක්ෂාව සලකා ඊයේ (10) රාත්‍රියේ මෙම මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබිණි.
පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය, පොලීසිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර නිරීක්ෂණයකින් අනතුරුව, එම කමිටුවේ නිර්දේශ මත මාර්ගය යළි විවෘත කර ඇත.
කෙසේ වෙතත්, ඉදිරියේදී යළිත් ධාරානිපාත වැසි ඇද හැලුණහොත් මහජන ආරක්ෂාව තකා මාර්ගය නැවත වසා දැමීමට සිදුවිය හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි. එවැනි අවස්ථාවලදී හැකි තරම් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
