මියගිය කාවන්තිස්ස දළ ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් වන තක්සේරු වාර්තාවක් නොවැම්බර් 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය නියෝග කර තිබේ. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මගින් අදාළ වාර්තාව ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වනජීවී අඩවි ආරක්ෂකවරයාට මෙහිදී නියම කර ඇත.
ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් නීතිඥවරයෙකු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝග නිකුත් කර තිබේ. එහිදී, විදුලිසැර වැදීමෙන් මියගිය දීගදන්තු එක ඇතාගේ වටිනාකම රුපියල් මිලියන 90ක් ලෙස මීට පෙර තක්සේරු කර ඇති බව පෙන්වා දී ඇත.
කාවන්තිස්ස ඇතාගේ මරණයට නිශ්චිත හේතුව අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වීමට නියමිත අතර, එම වාර්තාවද එදිනම ඉදිරිපත් කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයාට නියෝග කර තිබේ. ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.



